Published on විදුසර 21.02.2018 as part of my series of articles ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ [Biodiversity of Home gardens]. Click on this link to open a .pdf of the page – ගෙවත්තේ රැඟුම් වැයුම් දක්වන වැලන්ටයින්ලා – Vidusara 21.02.2018
පසුගිය සතියේ පෙබරවාරි 14 දා ආදරවන්තයන් ගේ දිනය (Valentine’s Day) ලෙසින් සැමරීම ට බොහෝ ආදරවන්තයින් සහ සහකාරියකගේ සිත දිනාගැනීමට උත්සාහ කරන වැලන්ටයින්ලා විසින් සමරන්නට යෙදිනි. කඩවල් වල හොදින් අසුරා ඇති ලස්සන රෝස මල් කලඹක් හෝ රසවත් චොකලට් එකක් ලබා දී තම ආදරවන්තිය සතුටු කිරීමට උත්සාහ ගත් ආදරවන්තයෝ බොහොමයකි. වැලන්ටයින් දිනයට සිමා නොවී ගැහැණු ළමයකු සමග යහලු වීමට උත්සාහ ගන්නා කාලයේ දී අනෙකුන් පරයා තමන් ගේ කඩවසම් බව හෝ හැකියාව ඉස්මතු වන ලෙස ඇය ඉදිරියේ හැසිරීම ද අපට නිතර දක්නට ලැබෙන දෙයකි. ඇය සමග යහලු විමට ඉදිරිපත් වූ අනෙකෙකු ද පසු නොබා ආවිට තම සිතගත් කෙනා අයිති කර ගැනීමට සිදු කරන “ආදර යුද්ධ” ද එදා මෙන් ම අදත් යවුවනයන් අතර ප්‍රචලිච ය. මේවයෙන් සමහර ගැටුම් වචනයෙන් බැන ගැනීම් වලට සීමා වුවත්, සමහර ගැටුම් අතින් පයින් එකිනෙකා තුවාල සිදුවන,තරමට ම දරුණු වේ.
මෙසේ තම ආදරවන්තියක් දිනා ගැනීමේ අරමුණින් ම සිදු කරන ක්‍රියාවන් මෙන් ම සටන් ද මිනිස් සමාජයේ පමණක් නොව, සත්ව ලෝකයේ ත් දක්නට තිබේ. තම ආදරවන්තිය ගේ සිත දිනා ගැනීමේ අරමුණින් ම ඉදිරිපත් කරන රැගුම්, ගැයුම් සත්ව ලෝකයේ ද බහුල වේ. සමහරෙකුගේ පැහැය වැඩි කර ගෙන සහකාරියක දිනාගැනීමට උත්සාහ ගැනී. වැලන්ටයින් දිනයේ මෙන්ම තම ආදරවන්තිය ට තෑගි ලබා දෙන ආදරවන්තයෝ ද මේ අතර වෙති.
මෙවැනි හැසිරීම් courtship display ලෙස ඉන්ග්‍රීසියෙන් හන්දුන් වන අතර ‘පෙර පෙම’ ලෙස සිංහලෙන් හඳුන්වයි.
නැටුම් ඉදිරිපත් කරන කුරුල්ලන් බොහෝමයක් වෙති. මේ අතරින් පැපුවා නිව් ගිනියා රටෙහි කැළෑ වල වාසය කරන Birds of Paradise නම් වූ කුරුල්ලන් වර්ග කිහිපය ඉදිරියෙන් ම වෙති. කැළයේ සමතලා බිමෙක කොළරොඩු ඉවත් කර පිරිසිදු කරගත් වේදිකාවක මේ කුරුල්ලන් තම රන්ගනය ඉදිරිපත් කරයි.
සමහර කුරුල්ලන් ගේ පෙනුම සුවැදි සමයේ දි වඩා දීප්තිමත් වේ. දීප්තිමත් වර්ණ ඇති පිරිමි සතුන් බොහෝවිට කිරිල්ලිය ගේ ප්‍රමුඛ තේරීම ට ළක්වෙන්නේ, මිනිස් සමාජයේ ද හොන්දින් ඇද පැළද ගත් පිරිමින්ට කාන්තාවන් ගේ ආකර්ශනය වඩා ලැබෙන ආකාරය පසක් කරමිනි.
තවත් සමහර කුරුල්ලෝ ආදරවන්තිය ක් දිනා ගැනීම උදෙසා ගී ගයති. නැටුම් වලින් ඉතාමත් දක්ශයෝ නැතිවුවත්, තම සහකාරිය දිනාගැනීමට ගී ගයන කුරුල්ලන් අතරින් ලස්සනම ගීයක් ගයන කුරුල්ලෙක් නම් අප සැවොම ගේ ම පාහේ ගෙවතු වල දක්නට ලැබීම අපගේ වාසනාව ක් නොවේ ද..?? හැබැයි මේ ආදරවන්තයා තම ගී ගැයීමට තෝරා ගෙන ඇත්තේ, Valentine’s Day යෙදී තිබෙන පෙබරවාරිය නොව අප්‍රේල් මාසයයි. ඒ වෙනෙකෙකු නොව අප සැවොම දන්නා කොහා ය.
කොහා (Asian Koel) වසර පුරාම අප අවට දැක ගත හැකි කුරුල්ලෙකි. අනෙකුත් කාලවලදී මෙන් නොව, අප්‍රෙල් මාසයේදී කොහා නාද කරනුයේ තම රැහේ කිරිල්ලිය ක ආකර්ශනය කර ගැනීමටය.
නන්දනීය ගීයක් ගයමින් සහකාරිය ක් දිනා ගැනීමට උත්සාහ ගන්නා අපේ ගෙවත්තේ සිටින තවත් කුරුල්ලෙකි පොල්කිච්චා (Oriental Magpie-robin). ඉහල ස්ථානය ක සිට තම මියුරු නාදයෙන් තම වසම තහවුරු කරනා පිරිමි පොල්කිච්චා කිරිල්ලිය වටා රන්ගනය ක් ද ඉදිරිපත් පත් කරයි. පිහාටු පුම්බා ගෙන, හොටය ඉහල ට කරගෙන කිරිල්ලිය වටා මේ රන්ගනය කරන්නේ ඇයව තම වසගය ට ගැනීමටය.
තම සහකාරිය ගේ සිත දිනාගැනීම ට රැගුමක් ඉදිරිපත් කරන තවත් කුරුල්ලන් කිහිප දෙනෙකු ම අපගේ ගෙවතු හා ඒ අවට දැක ගත හැකිවේ. මේ අතරින්, අලු කොබෙයියා එක් කුරුලු විශේෂයක් පමණි. හින්දි චිත්‍රපටවල මෙන්ම ඒවා කොපි කර හැදූ සිංහල චිට්‍රපටවලත් ගීයක් ගයමින් තම පෙම්වතිය වටා නටන ආදරවන්තයන් ඔබත් දැක ඇතිවාට සැක නැත. සින්දු කියමින් පෙම්වතියට සමීප වන දසුන් මෙන් ම, ඈත සිට එක පිම්මේ ඇය වෙත දිව එන දසුන් ද මේ ගීත වල නිතර දකින්නට ලැබේ. මේ හා සමාන දසුනක් ඔබගේ ගෙවත්තේ සජීවීව ම ඉද හිට බලා ගත හැකි බව ඔබ දැන සිටියේ ද..? අපේ ගෙවත්තේ රගන මේ දර්ශන වල නළුවන් අළු කොබෙයියන් ය.
සුවැදි සමයේ දි (breeding season) ඉහල අහසට පියඹන පිරිමි අලු කොබෙයියා, එක්වර පහත ට පාවී එන්නේ පියාපත් විදහාගෙනය. ගැහැනු අලු කොබෙයියා වටා ඔලුව නවා ගෙන බෙල්ලේ පිහාටු පුප්පා ගෙන නාද කරමින් අනග රැගුමක් නටන අයුරු ද ශබ්ද නගමින් සෙමි සෙමින් තම පෙම්වතිය වෙත ලගා වෙන අයුරුත් අළු කොබෙයියන් යුවල දෙස අවධානයෙන් බලා සිටිය හොත් දැක ගත් හැකි වනු ඇත. සාමාන්‍යයෙන් යුවලක් ලෙස ගැවසෙන අළු කොබෙයියා චිත්‍රපට වල රගන නළු නිළියන් විසින් කරනා රැවටීමක් මෙන් නොව, නියම ආදරවන්තයන් ලෙස එකිනෙකාට ලැදියාවෙන් දිවිය පුරාම එක්ව සිටින බව පැවසේ.
ගෘහාශ්‍රිත පරෙවියන් ද ගෙල පෙදෙසේ පිහටු පුම්බාගෙන කිරිල්ලියන් වටා රන්ගනය ක යෙදෙනවා ඔවුන් දෙස අවදානයෙන් බැලුවහොත් බොහෝ විට ඔබට නිරීක්ෂණ ය කරන්නට ලැබෙනු ඇත.
තම සහකාරිය ට තෑගි ලබා දෙන අපේ ගෙවත්තේ අසල්වැසියන් අතර ළය-සුදු පිළිහුඩුවා (White-breasted Kingfisher) ප්‍රමුඛ වේ. එහෙත් වැලන්ටයින් දිනයේ පෙම්වතුන් ලබා දෙන සුවද හමනා තෑග්ගක් වෙනුවට පිළිහුඩුවා තම සහකාරිය ට ලබා දෙන්නේ පිලී ගන්ද ගසන පණ ගසනා මාලුවෙකි. නැතහොත් හොන්ඩින් වැඩුනු පණුවෙකි. වැලන්ටයින් දිනයේ රස විදින චොක්ලට් පෙත්තක මිහිර, මේ තෑග්ගේත් පිළිහුඩුවා ට ලැබෙන වා වන්නට ඇත. පියාපත් විහිදා වලිගය ගස්සමින් හොටය ඉහළට කර ශබ්දයක් නගා පෙරපෙම පෙන්වන රංගනයක යෙදෙන පිළිහුඩුවන් ඔබ ගෙවත්ත අවටත් උදැසනම මේ කාලයේ දී දැක ගත හැකි වනු ඇත.
රෑන ගිරවා (Rose-ringed Parakeet) ද ගෙවත්තේ දැකගත හැකි ආදරවන්ත හැසිරීම් දක්වන කුරුල්ලෙකි. හොට පටලවා ගනිමින් දක්වන හැසිරීම සිපගැනීමක් සිහිගන්වයි. අප සැවොම දන්නා තවත් මනරම් courtship display එකකි පිල්විදහා දක්වන මොනරාගේ මනරම් රන්ගනය. දැන් දැන් සමහර පෙදෙස් වල ගෙවතු වලින් ද වාර්තා වන මොණරා ගේ රන්ගනය නම් ලෝකයේම ප්‍රසිද්ධ රන්ගනයකි.
කුරුල්ලන් ඈත අතීතයේ සිටි ඩයිනෝසරයන් ගෙන් පරිණාමය වී ඇතැයි සැලකේ. 2016 දී සිදුකල විද්‍යාත්මක පරීක්ෂණ ය ක සොයා ගෙන තිබුනේ, සමහර ඩයිනෝසරයන් ද අද කුරුල්ලන් විසින් සිදුකරන ආකාරයේ මෙවැනි courtship display හි යෙදුනු බවයි . ඩයිනෝසරයන් ගේ ෆොසිල හමුවූ ස්ථාන කීපයකින් ම බිම පාෂාණ වල එකම රටාවකට පාහේ පාද තැබීමෙන් ඇති වූ සළකුණු අධ්‍යයනය මගින් මේ පරීක්ෂකයින් මෙම නිගමනයකට එළඹී තිබේ.
සහකාරිය ක් දිනා ගැනීමට කරන මෙවන් රන්ගනය යන් විටෙක කුරුල්ලාට අවාසි දායක අවස්ථා බොහොය. පලමුව පිරිමි කුරුල්ලන් මේ කාලයේ දී වඩා වර්ණවත් වේ. මෙසේ වඩාත් වර්ණවත් වීමක් යනු විලොපිකයන්ට ගේත් අවධානය වඩාත් ම යොමු වීමකි. අනෙකුත් පිරිමි කුරුල්ලන් සමග සටනකින් තුවාලයක් වුවහොත් එයත් අවාසිය කි. එහෙත් පරිණාමයේ දී හොඳම ජාන ඉදිරියට ගෙනයාමේ ක්‍රමවේදයක් ලෙස මෙම පෙරපෙම් චාරිත්‍ර ඇතිවූ බව පිළිගත් මතයකි.
පෙරපෙමට මෙතරම් කාලයක් හා ශ්‍රමයක් වැය කලත්, කුරුල්ලන් අතර ලිංගිකව හැසිරීමට නම් ගතවන්නේ ඉතාමත් කුඩා කාලයකි. ක්ෂිරපායින්ට මෙන් පිරිමි සහ ගැහැණු ලෙස වෙනස් වූ ලිංගික අංග කුරුල්ලන්ට නොමැති අතර, cloaca නැතහොත් Vent ලෙස හදුන්වන වන, වසුරු පිට කිරීමටත් භාවිත වන සමාන විවරය න් පිරිමි මෙන්ම ගැහැණු කුරුල්ලාට ද තිබේ. ලිංගික එක්විමකදී කිරිල්ලිය තම වලිගය පසෙකට කර ඇයගේ Cloaca විවරය නිරාවරණය කරන අතර, ඇයගේ පිට මත නැගී පිරිමි කුරුල්ලා තම Cloaca විවරය ඒ මත සමපාත කර ශුක්‍රාණු පිට කිරීමක් සිදු කරයි. මේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් ගතවන්නේ තත්පර කිහිපයක් පමණි.
සුවැදී සමයන් (Breeding Season) කුරුලු වර්ගයෙන් වර්ගයට වෙනස් වේ. එහෙත් හොඳින් නිරීක්ෂණය කළහොත් පෙරපෙම චාරිත්‍රයේ යෙදෙන කුරුල්ලන් මෙන්ම ඔබ නිවස අසල කැදලි තනන කුරුල්ලන් ද ඔබට දැක ගත හැකි වනු ඇත. විවිධ කුරුල්ලන් කැදලි තනන්නේ විවිධ ආකාරයට වන අතර, ඔබ ගේ ගෙවත්තෙත් වැඩිපුර ගස් වවා ඔවුන්ට හිතරක පරිසරයක් නිර්මාණය කළහොත්, වසර පුරාම ඔබගේ ගෙවත්ත කුරුල්ලන්ගේ ආදරයෙන් පිරිණු ස්ථානයක් වනු නිසැකය.